තරුණයින්ගේ අභියෝග හදුනාගෙන ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කළ යුුුුුතුයි.

තරුණයින්ගේ අභියෝග හදුනාගෙන ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කළ යුුුුුතුයි.

වර්තමාන තරුණ පරම්පරාවේ සාධනීය පොදු අදහස් වලට අනුකූලව අපි කටයුතු කළ යුතුයි. තරුණයින්ගේ අභියෝග හදුනාගෙන ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කළ යුතු බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (15) දින ජාතික යොවුන් සේනාංක කාර්යභාරය සහ ප්‍රගමනයට අවශ්‍ය ඉදිරි සැළසුම් හා වැඩසටහන් පිළිබඳව ජාතික යොවුන් සේනාංකයේ පැවති සාකච්ඡාවකදී ය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

ජාතික යොවුන් සේනාංකය රටේ තරුණ තරුණියන් වෙනුවෙන් විශාල සේවාවක් සැළසීම සඳහා කැපවිමෙන් කටයුතු කරන ආයතනයක්. වසරකට තුන් ලක්ෂ පනස් දහසක් පමණ තරුණයින්ට සේවාව සැපයීමට මෙම ආයතනය සමත්ව තිබෙනවා.

‘‘සියල්ලන්ටම පෙර රටේ තරුණයින්ගේ වගකීම භාරව තිබෙන්නේ මගේ අමාත්‍යාංශයට. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය ලෙස අපි ඒ අභියෝගය භාර ගත යුතුයි.

මනා පුහුණුව, නායකත්ව හැකියාව, පෞරුෂත්ව සංවර්ධනය තරුණයින් තුළ ගොඩනැඟිය යුතුයි. එලෙස සවිබල ගැන්වූ තරුණයින් දේශීය මෙන්ම විදෙස් රැකියා සඳහා යොමු කිරීම අප සතු වගකීමක්.

තරුණ හිත් තුළ අරගලය මතු වන්නේ සමාජයේ ජීවත්වීමේදී පැන නගින අපහසුතා වලට මුහුණ දීමට අපහසු වීම තුළින්. මමත් තරුණ අවධියේ මා සමගම අරගල කර ගත්තා. මා එහිදී තේරුම් ගත්තා රටෙන් තමන්ට ලැබෙන දේ පිළිබදව මෙන්ම තමාගෙන් රටට යමක් සිදු විය යුතු බව. ‍ඒ අනුව මම සමාජයට වෛර නොකර විදේස්ගතව මාගේ අරගලය ජය ගත්තා. අද මම රටට ඩොලර් ගෙනෙන සාර්ථක ව්‍යවසායකයෙක්.

අද තාරුණ්‍යයට මම ආරාධනා කරනවා ඔබ වෙනුවෙන් ගොඩ නගා ඇති මෙම ආයතන වෙත පැමිණ තමන්ගේ කුසළතා ඔප් නංවාගෙන සාර්ථක ගමනක් යාමට එක්වන ලෙස. විනයෙන්, නායකත්වයෙන්, පෞරුෂයෙන් හෙබි තාරුණයෙක් නිර්මාණය කිරීමට ජීවන කුසලතා (Life Skills) පාඨමාලාව සඳහා ජාතික යොවුන් සේනාංකය මේ දිනවල තරුණ තරුණියන් බඳවා ගැනීම ආරම්භ කර තිබෙනවා.

 

 

තරුණ විෂය භාර අමාත්‍යවරයා ලෙස මම ඇතුලු අමාත්‍යාංශය ඔබ වෙනුවෙන් සේවය හා මගපෙන්වීම ලබා දීමට කැප වී සිටින බව දන්වා සිටිනවා. 

සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දරුවන් සඳහා අනාගතය ගොඩනගා ගත යුතු ආකාරය පිළිබඳව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පෙර පාසල් පාලිකාවන් හා ගුරුවරුන් පුහුණු කිරීම, දේශීය හා විදේශීය වෘත්තීය බංගලා භාරකරු, නිවාස භාරකරු වැනි තරුණයින් ඉලක්ක කර ගත් පාඨමාලා ක්‍රියාත්මක කර තරුණ තරුණියන් වෘත්තීමය වශයෙන් සවිබල ගැන්වීම ජාතික යොවුන් සේනාංකයට පැවරෙන කාර්යයන් අතර මූලික තැනක් ගන්නවා.

ඒ අතර දේශීය හා විදේශීය තරුණ ව්‍යවසායකයින් බිහි කිරීම,  වෘත්තිය වශයෙන් සවිබල ගැන් වූ තරුණ තරුණියන් දේශීය හා විදේශීය රැකියා අවස්ථා සහා යොමු කිරීම ඉතා විධිමත් ආකාරයෙන් ජාතික යොවුන් සේනාංකය හරහා සිදු කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා, තරුණ කටයුතු පිළිබඳ අතිරේක ලේකම් සමන් වඩුගේ මහතා, ජාතික යොවුන් සේනාංක සභාපති කර්නල් දර්ශන රත්නායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහභාගී විය