අමාත්‍ය රොෂාන් රණසිංහ හා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතර හමුවක්.

අමාත්‍ය රොෂාන් රණසිංහ හා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතර හමුවක්.

ක්‍රීඩා, තරුණ සංවර්ධනය සහ වාරිමාර්ග යන විෂයයන් පිළිබඳව මෙම රැස්වීමේදී සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව දියුණු කිරීම සඳහා අවශ්‍ය පුහුණුකරුවන් ලබාදීමටත්, මීලග ඔලිම්පික් තරගාවලියට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින්ට හොඳ පුහුණුවක් ලබා දීමටත් අවශ්‍ය සහයෝගය හා මැදිහත්වීම සිදු කරන බව ප්‍රංශ තානාපතිවරයා පවසා සිටියේය.

රග්බි සහ පාපන්දු විෂය සම්බන්ධයෙන්, 2021 දී කෙටුම්පත් කරන ලද අවබෝධතා ගිවිසුම ඉක්මනින් අත්සන් කිරීමට හැකි වනු ඇතැයි තානාපතිවරයා බලාපොරොත්තු වේ. දෙරට අතර රග්බි, පාපන්දු සංගම් අතර සබඳතා ශක්තිමත් කර ගැනීමේ හැකියාව හා වර්ධනය කර ගැනීමේ හැකියාව පිළිබඳව මින් පෙර සාකච්ඡා කර ඇති බව තානාපතිවරයා සඳහන් කළේය.

තරුණ තරුණියන්ගේ කුසලතා සංවර්ධනය සඳහා අඩිතාලම දැමිය යුත්තේ පෙර පාසලෙන් බව එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ සදහා පෙර පාසල් ගුරුවරුන්ගේ විෂය දැනුම හා හැකියාව දියුණු කිරීම සඳහා සහයෝගය ලබාදෙන බව තානාපතිවරයා පැවසීය. එම කටයුතු යොවුන් සේනාංකය හරහා සිදු කිරීමේ හැකියාව තිබෙන බව එහිදී අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

ප්‍රංශ සංවර්ධන නියෝජිතායතනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමගින් එක්ව යුරෝ මිලියන 300 ක වටිනාකමින් යුතුව නැගෙනහිර පළාතේ ජල අවශ්‍යතාවය සැපිරීම සඳහා මහා පරිමාණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති බව තානාපතිවරයා දැනුම් දුන්නේය. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කටයුතු ලිහිල් වූ පසු ආරම්භ කර ජනතාවට ජලය ලබා ලබාදීමට කඩිනමින් කටයුතු කරන බවද එහිදී තානාපතිවරයා පවසා සිටියේය.

සූර්ය බලශක්තිය ආශ්‍රිතව විදුලිය නිපදවිමට ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සහයෝගය පිළිබදව  අමාත්‍යවරයා විමසීමෙන් අනතුරුව තානාපතිවරයා දන්වා සිටියේ පැරිස් නුවර පිහිටි සමාගමක් විසින් ප්‍රංශ සංවර්ධන වැඩසටහන යටතේ උප විදුලි මධ්‍යස්ථානයක් ඉදිකිරීමට දැනටමත් කටයුතු කරගෙන යන බවයි. ඉදිරියේදී එම නියෝජිතයින් අමාත්‍යවරයා වෙත හදුන්වා දීමට කටයුතු කරන බව ද පැවසීය.

ජාතික තරුණ සේවා සභාව මගින් තරුණ ව්‍යවසායකයින් බිහි කිරීමේ වැඩසටහන පිළිබදව අමාත්‍යවරයා විසින් තානාපතිවරයා දැනුම්වත් කරන ලදි. එය තානාපතිවරයාගේ විශේෂ ඇගයීමට ලක් විය.

දෙරට අතර අන්‍යෝන්‍ය සුහදතාවය හා සහෝදරත්වය ශක්තිමත් වන ආකාරයෙන් ඉදිරියේ දී කටයුතු කිරීමට අමාත්‍යවරයා හා තානාපතිවරයා සාකච්ඡාවේදී එකඟතාව පළ කර ඇත.